ජීවමෘත

හැඳින්වීම


ජීවමෘත යනු එළ ගවයින්ගේ ගොම, ගව මුත්‍රා යොදාගනිමින් නිපදවා ගන්නා ක්ෂුද්‍ර ජීවී ද්‍රවණයකි. එබැවින් මෙය භාවිතයෙන් පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ සංඛ්‍යාව හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයි. එය කාබනික දියර පොහොර මෙන්ම පාංශු සත්කාරකයක් ලෙසද ක්‍රියා කරයි.

ජීවමෘත සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

  1. ලීටර් 200 පමණ ප්ලාස්ටික් බැරලයක්
  2. අමු එළ ගව ගොම : කිලෝ ග්‍රෑම් 10
  3. එළ ගව මුත්‍රා : ලීටර් 10
  4. සක්කර හකුරු හෝ දුඹුරු සිනි : කිලෝ ග්‍රෑම් 02
  5. දෙපියළි බිජ පිටි : කිලෝ ග්‍රෑම් 02
  6. වනාන්තරයකින් හෝ දිරාපත් වන කොළ ගොඩක් යටින් ලබාගත් පස් මිටක් පිරිසිදු ජලය

සාදා ගන්නා පිළිවෙළ

  1. ඉහත අංක 1 -5 දක්වා ද්‍රව්‍ය ප්ලාස්ටික් බැරලයට දමා ලීටර් 200 මට්ටම දක්වා ජලය එකතු කර විනාඩි 10 පමණ දකුණු අතට මිශ්‍රණය කොටුවකින් කරකවන්න.
  2. මෙසේ දිනකට පස් වරක් දකුණු අතට කොටුවකින් කරකවා තෙත ගොනියකින් වසා තබන්න. මේ අන්දමට දින තුනක් මිශ්‍ර කර තබා පස් වන දිනට පසු භාවිතයට ගන්න.

භාවිතය හා ප්‍රයෝජන

  1. මිශ්‍රණය පෙරා දියර කොටස් එකකට ජලය කොටස් හතරක් මිශ්‍රකර පත්‍ර තෙමි යන ලෙස වගාව සඳහා ඉසීම කළ යුතුය.
  2. පසට එකතු වන ජිවමෘතවල වෙසෙන ක්ෂුද්‍ර ජීවින් සුර්යලෝකයෙන් විනාශ වීම වැළක්වීමට සහ ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාදීම සඳහා යෙදීමෙන් පසුව පිදුරු වැනි වසුනක් වැදගත් වෙයි.
  3. පාංශු පෝෂකත්වය ඉහළ නංවමින් බෝග වර්ධනය කරයි.
  4. එළවළු හා පලතුරුවල සහ මල්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි .
  5. සැළකිය යුතුය :

    ජිවමෘත කල් තබාගත නොහැකි බැවින් දින අටකට පෙර භාවිත කර අවසන් කළ යුතුය.